Tuesday 19th of May 2026

English Tamil
Advertiesment


පුද්ගලයින් ඉලක්ක කර ගත් දඩයමකින් රටට-නීතියේ ආධිපත්‍යට-ජනතාවට යහපතක් වන්නේ නැහැ  


2026-05-19 1216

 

එමගින් බිහි වන්නේ අත්තනෝමතික පාලනයක්

 

මේ වර්ධනය වන ප්‍රවනතාව ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් 

 

- Free Lawyers සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි -  

 

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය, දුෂණ විරෝධී යාන්ත්‍රණය, දේශපාලකරණය (Politicization) සහ ආයුධකරණය (Weaponization)  වන්නේ නම් එම රාජ්‍යයේ ඉක්මනින් හෝ පමා වී අනිවාර්යයෙන්ම අත්තනෝමතික පාලනයක් බිහි වන බව Free Lawyers සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

කොළඹ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් කීර්ති තෙන්නකෝන් මහතා තව දුරටත් පැවසූවේශ්‍රී ‘ලංකාව වගේ පශ්චාත් යුධ තත්ත්වයක් ඇති රටකට, අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය, දුෂණ විරෝධී යාන්ත්‍රණය පූර්ණ නිදහස් ස්වරූපයකින් -- කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පැවතීම අතිශයින්ම වැදගත් බවයි.

නිදහස් අධිකරණ පද්ධතිය තමයි නීතියේ ආධිපතිත්‍යයේ ‘පාදම’ නැති නම් අත්තිවාරම කියන්නේ. ජනතාව අතර විශ්වාසය, අනිවාර්යයෙන්ම පැවතිය යුතු වගවීම, ජනතාවගේ හිමිකම් ආරක්ෂා කිරීම අතීත අපචාර නැවත ඇතිවීම වළක්වා ගැනීම කියන ඉතාමත් වැදගත් සංකල්පයන් හතර ආරක්ෂා කර හැකි වන්නේ එමගින් පමණයි. අපරාධ පරීක්ෂණයට, නඩු පැවරීමේ ක්‍රමයට, දුෂණ විරෝධී යාන්ත්‍රණයට දේශපාලන බලපෑම් එල්ල කිරීමෙන්, අද රටේ අත්තනෝමතික පාලනයක් ඇති වෙලා තියෙනවා.

අපි 17වන ව්‍යවස්ථා සංශෝධනය, 19 සහා 21 ව්‍යවස්ථා සංශෝධන මගින් ස්වාධීන පද්ධතියක් සකස් කර ගනු ලබූවා.   එමගින් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවට ජනතා සුබසෙත ඉටු කිරීම බලාපොරොත්තු වුණා. දියුණු "තුලන සහ සංවරණ" ක්‍රියාවලිය තහවුරු වුණා. විධායක ක්‍රියාවක් මගින් අගතියට පත් වන විට වුණත්, ඊට යුක්තිය ඉටු වන ස්වාධීන යාන්ත්‍රණයක් එමගින් හැදුවා.  

පත්වීම් සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයාට තිබු ප්‍රශ්න කළ නොහැකි, අධිපති බලය ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සභාවකට ලබා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම, නීතිපති, පොලිස්පති සහ විගණකාධිපති පත් කිරීම බහු පක්ෂ පුළුල් නියෝජනයක් සහිත ව්‍යවස්ථා සභාවට හිමි වුණා. අපේ රටේ අද නීතිය ඒකයි. ව්‍යවහාරය ඒකයි.

අප අද කතා කරන පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට මම එන්නම්. පොලිස් කොමිසම බිහි කරනු ලැබුවේ පොලීසියේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමටයි. ජනාධිපතිවරයා ඊට කොමසාරිස්වරු පත් කරන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් මතයි. ඒ වගේම, ජනාධිතිවරයා විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරන්නේත්, ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් මතයි. විගණන කාර්යාලයේත් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලියමයි. මේ පත්වීම් ක්‍රමය ඇති කළේ, මේ වැදගත් ආයතන දේශපාලකරණය සහ ආයුධකරණය වීමෙන් වළක්වා ගැනීමටයි.

අවසනාවකට අපි අද මාලිමා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය ඊට හාත්පසින්ම වෙනස් විනාශකාරී ප්‍රවේෂයක් ලබා තිබෙන බව දකිනවා. මේ ආණ්ඩුව දේශපාලන වේදිකාවේ සිටි, ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කිව්ව, විශ්‍රාමික පොලිස් නිලධාරිියෙක් ගෙනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පත් කරනු ලැබූවා. ඔහුට දැන් උසස්වීමක් දී තියෙනවා. මේ හා සමානම චෝදනාවක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නන්දන ගුණතිලක විසින් මතු කළා.

නිදහස් නීතිඥයෝ සංවිධානය මේ වර්ධනය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඉතා අයහපත් ප්‍රවනතාවයක් ලෙස හඳුනා ගන්නවා. අපි මැදිහත් වූ සිද්ධි කිහිපයක් මම මතක් කරන්නම්. ආණ්ඩුවේ විධායකයේ ඉන්න ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ගැන කිසිම විමර්ශනයක් කරන්නේ නෑ. වසන්ත සමරසිංහ සහ ලාල් කාන්ත ඊට හොඳම උදාහරණයි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගල් අඟුරු සමාගමේ හොරකම් ගැන සවිස්තර තොරතුරු මත පදනම්ව පැමිණිලි කළා. 2017 හෝ 2018 වාර්තා ලියා ගත්තා. මේ වන විට නැවත කොමිසමක් පත් කර තිබෙනවා. කලින් එකොමිසමට සිදු වූයේ කුමක් ද කියා කවුරුත් දන්නේ නැහැ.

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝහලේ බෙහෙත් දෙන ගමන් අත්අඩංගුව ගත්තා. ලෝකයේ තියෙන සේරම චෝදනා එල්ල කළා. වෛද්‍යවරියගේ දුවටත් පස්සෙන් පන්නලා ගැහුවා. ජයවර්ධනපුර රෝහලට වැඩිම ආදායම ගෙන ආ එහි ස්නායු වෛද්‍ය ඒකකය වසා දැමුවා. මේ සිද්ධියෙන් පසු එම රෝහලේ තවත් වෛද්‍යවරු රස්සාවෙන් ඉවත් වුණා. ජයවර්ධනපුර රෝහලම මේ වන විට පාඩු ලබන රෝගීන් නොඑන රෝහලක් බවට පත් වෙලා. මේ වන විට එම රෝහලේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඇඳ කුලියට දී මාධ්‍ය සංදර්ශන දානවා.  වෛද්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ගැන, සරළවම කියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව කියවන්න නොහැකිව ඔහු රිමාන්ඩ් කළ බවයි. එසේ කළේ ඔහු විපක්ෂයේ නිසයි.

හයේ පොතට කුණුහරුප LINK දැම්මා. රජයේ මුදල් වැය කරලා පොත් අච්චු ගහලා ඊට පසුව කොළ ඉරලා රජයට පාඩු කරලා තියෙනවා. මේ අපරාධය කළ රජයේ නිලධාරීන්ට සහ ආණ්ඩුවේ සමලිංගික ප්‍රවර්ධන දේශපාලනඥයින්ට විමර්ශනත් නෑ. නඩුත් නෑ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමෙකු වන යසන්ත කෝදාගොඩ මැතිතුමා තීරණයක් දී තියෙනවා ආවට ගියාට පුද්ගලයින් අත්අඩංගුවට ගන්න එපා කියලා. විමර්ශන අවසන් කරලා -- හොයලා බලලා අත්අඩංගුවට ගන්න කියලා.  මේ තීන්දුව නියෝගයක් ලෙස පොලිස්පති හරහා තමයි හැම පොලීසියකටම දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමාගේ රිමාන්ඩ් සිද්ධිය බලන්න. යසන්ත කෝදාගොඩ විනිසුරුට අමතරව නීතිපතිත් කිව්වා විමර්ශන අවසන් කර අත්අඩංගුවට ගැනීම් කරන්න කියලා. සමන් ඒකනායක පොලීසියට කැඳවව්වා. එතනට එනකොට එන්න එපා කිව්වා. පස්සේ අත්අඩංගුවට ගෙන උසාවියට කිව්වා පොලීසිය මග හරිනවා කියලා. පූසන්ට මාලු තම්බලා ගිහින් හැංගිලා ඉන්නවා කියලා. අභිලාෂය වුණේම සමන් ඒකනායක ලේකම්වරයා රිමාන්ඩ් කිරීමයි. භාණ්ඩාගාරයේ ඩො.මි. 2.5 ක් මංකොල්ල කෑම ගැන මේ දක්වා විමර්ශන සිදු වෙන්නේ මන්දගාමීව. මුලික විමර්ශන වෙනස් කළ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම පුටුවේ ඉන්නවා. හොරුත් ගැන කිසිම කතාවක් නෑ.

රාජ්‍ය පරිපාන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගත්තේ රු. ලක්ෂයක සිද්ධියකට. බොහෝ දෙනා හිතුවා ඔහු මාලිමාවට උපකාර කළ නිසා, ජනාධිපති ලේකම් ධූරයට පවා පත්වෙයි කියලා. ඔහු සුවිශේෂ සිවිල් නිලධාරියෙක්.  ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ මාළඹේ අවමංගල්‍ය ශාලාවක දී, මිනියට අවසන් ගෞරව දක්වන අතරතුර යි. ජනාධිපති ලේකම් වෙයි කියන හිතන කෙනා, එහෙම FCID අත්අඩංගුවට පත් වෙන කොට රටට කිව්වේ නීතිය සැමට සමානයි කියලයි. හැබැයි එතන සිද්ධ වුණේ, වජිරාරාමේ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ද වන මායාදුන්නේ උඩම පුටුවකට යන එක වළක්වන්නයි.

නිවැරදිව සහ අපක්ෂපාතීව, විමර්ශනය සිදු කරන්නේ නැතුව, චෝදනා ගොනු කරන්නේ නැතුව, උසාවියට බලපෑම් කරනවා හිරේ දාන්න කියලා. මේ නිසා තමයි මැයි පළමුවෙනිදා විධායක ජනාධිපතිගේ - කැබිනට් මණ්ඩලයේ කටින් පැන්නේ මැයි 25 හිරේ දානවා අත්පුඩි ගහන්න කියලා.

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය, දුෂණ විරෝධී යාන්ත්‍රණය, දේශපාලකරණය සහ ආයුධකරණය වන්නේ නම්, මහජන විශ්වාසය බිඳ වැටෙනවා. නීතියේ ආධිපත්‍ය දුර්වල වෙනවා. 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අඩපණ වෙනවා. එමගින් සිදු වන්නේ යහ පාලනයේ පදනම විනාශ වීමයි. සියලුම ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව විනාශවීමයි.  

අපි මේ ආණ්ඩුවට කියනවා, අපේ රට බොහෝ අමාරුවෙන් ‍ගොඩනගා ගත් ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණවල ආත්මය, හරය, ගැඹුර, වටිනාකම් ආරක්ෂා කරන්න කියලා. මේ ආයතනවල ගෞරවය රට වැසියා වෙනුවෙන් රකින්න කියලා. දේශපාලන පක්ෂපාතීත්වය මත මේ ආයතන මෙහෙය වන්න එපා කියලා.

අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමෘද්ධිමත් වන්නේ බලය සංකේන්ද්‍රණය වීමෙන් නොව, ශක්තිමත්, විනිවිද පෙනෙන විමර්ශන ක්‍රියාවලියක්, නඩු පැවරීමේ ක්‍රියාවලියක්, පොලීසියට, අල්ලස් කොමිසමට ලබා දිය යුතුයි. පුද්ගලයින් ඉලක්ක කර ගත් දඩයමකින් රටකට යහපතක් වෙන්නේ නෑ.

Advertiesment